⁣⁣බොකාගොන්න දේවාලය (කෙටිකතාව-සාම්ප්‍රධායික සන්නිවේදනය )

බොකාගොන්න දේවාලය 

                       මමත්,මල්ලීත්,නංගීත් පාසල් නිවාඩුව පැමිණෙන තෙක් ඇඟිලි ගනිමින් නොඉවිසිලිවන්තව බලා සිටින්නේ සීයා සහ අත්තම්මා බැලීමට ඔවුන්ගේ නිවසට යාමටටය.ඔවුන් ජිවත් වුණේ ඉතාමත් සුන්දර ගම්මානයකය.මගේ සීයා විශ්‍රාමලත් පාසල් ගුරුවරයෙකි.ඔහු ඉතාම ඥානවන්ත පුද්ගලයෙකි.අප එහි ගියවිට ඔහු ඉතාමත්  ලස්සන කතා අපට කියා දෙයි.
                           
                                    මාගේ සීයා සහ අත්තම්මා ජීවත් වන්නේ "පිටකුඹුර" නමින් හදුන්වන ඉතාමත් සශ්‍රීක සුන්දර ගම්මානයකය.මෙවර පාසල් නිවාඩුව සුපුරුදු පරිදිම අම්මාත්,තාත්තාත්,නංගීත්,මල්ලීත්,මමත් එහි ගියෙමු.

               අප එහි යනවිට නිවසේ සිටියේ අත්තම්මා පමණි.අත්තම්මා අප දැක ඉතාමත් සතුටු විය.ඇය මාත් මගේ නැගණිය සහ මල්ලීත් ඉතාම ආදරයෙන් සිප වැලඳ ගත්තාය.

                       "අත්තම්මේ...කෝ සීයා ⁣⁣පෙන්න නැහැනේ,සීයා කොහෙද?"මම සීයා දැකගැනීමේ ආශාවෙන් ⁣නොඉවසිලිවන්තව ආත්තම්මාගෙන් ඇසුවෙමි.

                  "සීයා දැන් එයි පුතේ,අද බොකාගොන්න දේවාලයේ රෑට පෙරහැර තියනවනේ ඉතින් දරුවෝ සීයා දේවාලේ පැත්තට ගිහින් එන්න කියලා ගියානේ,සීයා ආවහම අපිටත් පුළුවන්නේ සීයාත් එක්කම පෙරහැර බලන්න යන්න."

                                එය ඇසීමත් සමඟ මම ඉතාමත් ප්‍රීතියෙන් ඉපිලි ගියෙමි. සීයා නිවසට පැමිණෙන තෙක් මමත්,මල්ලීත්,නංගීත් සාලයෙහි බිම වාඩිවී  පාර දෙස බලා සිටිමු.සීයා  ඈත සිට පැමිණෙනවා දැක අප තිදෙනාම සීයා වෙතට දුව ගියෙමු.සීයා අප දුටු විට බෙහෙවින් සතුටු විය .සීයාගේ අතින් අල්ලාගෙන අප නිවසට ගොඩ වුයෙමු.

                "පුතාලා මම ගෙදරට එනකම් මඟ බලා සිටියද ?"සීයා අප තිදෙනාගේ හිස අතගාමින් විමසීය.

                             අප සීයා දෙස බලා සිහින් සිනහවකින් මුව සරසා ගත්තෙමු .

                        සීයාගේ පැමිණිම ඇසී අත්තම්මාද සාලයට පැමිණියාය.

                        "ඔය දරුවෝ මහත්තයා එනකම්ම මඟ බලාගෙන හිටියා"යැයි අත්තම්මා සීයාට පැවසුවාය .

                     අප දෙස බලා සිනාසුණු සීයා සාලයේ තිබූ සීයාගේ සුපුරුදු හාන්සි පුටුවේ වාඩි විය .අපි සීයා අසලින් බිම වාඩිවුනෙමු.

                                 "මම අද හවසට පුතාලව දේවාලයේ පෙරහැර බලන්න එක්කම් යන්නම්කෝ..."යැයි සීයා පැවසීය.

             "සී⁣යේ ඒ⁣ දේවාලයේ එච්චරටම තියන විශේෂත්වය මොකක්ද ?"මම නොඉවිසිලිවන්තව සීයාගෙන් විමසුවෙමි .

                        "පුතේ ඔය බොකාගොන්න දේවාලය කියන්නේ බණ්ඩාර දෙවි සත්කටු⁣වේ ප්‍රධාන දෙවි කෙනෙක් වන රන්හොටි බණ්ඩාර ⁣දෙවියෝ වැඩ ඉන්නවා කියලා ඉතා තදින්ම විශ්වාස කරන ඉතාමත් බලසම්පන්න හාස්කම් තියන දේවාලයක්නේ..."

            "රන්හොටි බණ්ඩාර දෙවියා් කියන්නේ කවුද සීයේ?" මල්ලී විසින් පැනයක් නැගුවේ ඔහුගේ සිතෙහි රන්හෝටි බණ්ඩාර ⁣දෙවියන් කවුරුන්ද යන්න තිබු කුතුහලය නිසාවෙනි .

                         "දරුවනේ රන්හොටි බණ්ඩාර ⁣දෙවියෝ කියන්නේ ඉතාමත් බලසම්පන්න දෙවි කෙනෙක්ලු,බොකාගොන්න දේවාලය කියන්නේ පුදුමාකාර හාස්කම් පවතිනවායි කියලා විශ්වාස කරන තැනක් .රන්හොටි බණ්ඩාර ⁣දෙවියන් ගැන ඉතාමත් පැරණි කතාවකුත් තියනවා."යැයි සීයා අප සමඟින් පැවසිය.

                    "ඉතින් සීයේ අපට ඒ කතාව කියා දෙන්නකෝ..."ඒ කතාව දැනගැනීමේ තිබු දැඩි ආශාවෙන් මම සීයාට ඇවිටිලි කළෙමි .

සීයා  අප සමඟ රන්හොටි බණ්ඩාර ⁣දෙවියන් පිළිබඳ තිබු කතාව කීමට සුදානම් විය.

                           "පුතේ විමලධර්මසූරිය රජතුමාගේ කාලයේ රාජ උදහසට ලක්වුණු ප්‍රභූවරයකු සිටියා.මොහුගේ නම තමයි බණ්ඩාර.ඉතින් ⁣මේ බණ්ඩාර රාජ පුරුෂයන්ගෙන් බේරි සැගවී ඔහුගේ සහෝදරයා සමඟින් ජිවත් වු ගම්මානයක්  තමයි මේ පිටකුඹුර ගම්මානය.

                       දරුවනේ බණ්ඩාර කියන්නේ ඉතාම ගුණයහපත්,ත්‍යාගශීලී පුද්ගලයෙක්,ඔහු ගමේ අයට උදව් උපකාර කරමින් ඉතාම සමකාමිව ජිවත් වු පුද්ගලයෙක්. මේ ගමේ සිටියා රූමත් කාන්තාවක් ඇගෙ නම "⁣ගෝමරී".ඇය කුලහීන කාන්තාවක්.ගෝමරී සමඟින් බණ්ඩාර දැඩි ලෙන්ගතුකමක් පවත්වාගෙන ගිහින් තිබෙනවා .ඒ වුනත් මෙම සම්බන්ධයට බණ්ඩාරගේ සහෝදරයා අකැමැති වෙලා තියනවා ...

           "ඇයි සීයේ ඔහු එකට අකැමැති වෙලා තියෙන්නේ ..."මම සීයාගෙන් ඇසුවෙමි.

                        පුතේ බණ්ඩාර කියන්නේ ඉතා උසස් පැලැන්තියේ ප්‍රභූවරයෙක් ,සහෝදරයා සිතනවා මෙම සම්බන්ධය ඔවුනගෙ පරපුරට අවනම්බුවක් බව මේ හේතුව නිසාවෙන් ඔහු මෙයට අකැමැති වී තිබෙනවා .

                  "ඉතින් සීයේ බණ්ඩාරගේ සහෝදරයා මොකද කළේ ?"මම නැවතත් ඇසුවෙමි .

                 දරුවනේ බණ්ඩාර මේ සම්බන්ධය නවතන්නට අකැමැති වු නිසා සහෝදරයා සිතනවා තම සහෝදරයා මරා හෝ තම පරපුර රැක ගැනිමට.

             "ඉතින් සීයේ ඊට පස්සේ මොකද වුනේ"මල්ලී විමසිය.

            ප්‍රසිද්ධියේ සහෝදරයා මැරීමට නොහැකි  නිසා දෙදෙන සමඟ දඩයමේ ගිය දිනක මල්ලී විසින් ඊතලයකින් බණ්ඩාරගේ පපු ප්‍රදෙසට විදිනවා, දරුවනේ ඒ අවස්ථාවේ ඇස් අදහාගත නොහැකි පුදුමාකාර හාස්කමක් සිද්ධ වෙනවා .

                  "ඒ අවස්ථාවේ මොනවද වෙන්නේ සීයේ "මම සීයාගෙන් විමසුවෙමි .

               මුළු අහසම ගිගුම් දී අදුරු වෙනවා .බණ්ඩාර එම අවස්ථාවේ මිය ගියත් ඔහුගේ ශරීරය බිමට නොවැටී නොසෙල් වී ඒ ඉරියව් ⁣වෙන්ම තිබෙනවා .ඔහුගේ ශරීරය මදක් හෝ සෙලවීමට නොහැකි වෙනවා .

                  "හරිම පුදුමයි නේද සීයේ ..."මල්ලි පැවසිය.

                  ඔව් දරුවනේ, මේ පුවත දැනගත් ගෝමරී මහ හයියෙන් විලාප නගමින් හඩමින් එතනට පැමිණෙනවා.ඇය පැමිණ බණ්ඩාරගේ ශරීරයට අත තියනවාත් සමඟ ඔහුගේ ශරීරය බිමට  ඇඳ වැටෙනවා.

                  "සීයේ ඊට පස්සේ මොකද වෙන්නේ" එම පැනය නැගුවේ නැගණිය විසිනි .

            ඉතින් දරුවනේ ගමේ උදවිය එකතු වී බණ්ඩාරගේ අවසන් කටුයුතු සිදු කර තිබෙනවා .නමුත් බණ්ඩාරට ළගින්ම සිටි හිතවත් පුද්ගලයෙකුට බණ්ඩාරව රැයෙහි සිහිනෙන් පෙනෙනවා.බණ්ඩාර  ඒ අවස්ථාවේ ඔහුට පවසලා තියනවා ඔහුගේ ආයුධ කිහිපයක් බොකාගොන්න ගමෙහි නුග ගසක් යට තිබෙන බවත් ඒවා රැගෙන ඔහුගේ නාමයෙන් මිනිසුන්ට උදව් කරන ලෙසත් පවසා ඔහුට ආරුඪ වී තියෙනවා.එතැන් සිට ඔහු "රන්හොටි බණ්ඩාර" යන නාමයෙන් මිනිසුන්ට උදව් උපකාර කර තිබෙන අතර මිනිසුන්ද ඔහුට දෙවි කෙනෙකු සේ සලකා තිබෙනවා .

              දරුවනේ, මේ ආයුධ තිබුනා යැයි කියන තැන ⁣පසුකාලේදී දේවාලයක් ඉදි කර තියන අතර එම දේවාලය "බොකාගොන්න දේවාලය" යනුවෙන් හදුන්වනවා .

                ඉතින් පුතේ මේ දේවාලයේ වැඩ වසනවා යැයි ගම්මු විශ්වාස කරන්නේ මේ රන්හොටි බණ්ඩාර ⁣දෙවියන් ,පුදුමාකාර බලසම්පන්න හාස්කම් තියන අනුහස් තියන තැනක් තමයි දරුවනේ එතැන ,සීයා එලෙස රන්හොටි බණ්ඩාර ⁣දෙවියන් පිළිබඳ තිබු අපූරු කතාව කියා නිම කළේය.

     "අනේ සීයේ අපටත් ආසයි දේවාලයට යන්න,අපිවත් එක්කන් යන්නකෝ..." අප තිදෙනාම එකවර කිවේ ඒ පුදුම ස්ථානය දැක ගැනීමේ තිබු නොතිත් ආශාවෙනි.


R.M.I.D RATHNAYAKE
HS/2016/0953
                         
             

Comments

Post a Comment

Popular posts from this blog

අම්මා